ශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතුවල නිරතවූ ඇලෙක්ස් මාෂල් ප්‍රමුඛ අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව එලි දැක්වීමට තීරණය කර තිබෙනවා.
එය අද හෝ හෙට නිකුත් කරන බවයි වාර්තා වන්නේ.පසුගිය වසරක පමණ කාලසීමාවකට අදාළව සිදුකරන ලද විමර්ශන කටයුතුවලදී ලද නිරීක්ෂණයන්ට අනුව ගත් නිගමනයන්ගෙන් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

මෙරට ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ නමක් දිනා සිටින දැවැන්තයන් කිහිප දෙනෙකුද ක්‍රිකට් තරග පාවාදීම් ඇතුළු දූෂණ කටයුතුවලට සම්බන්ධවූ අයුරු මෙමගින් හෙළිදරව් වනු ඇති.
කෙසේ වෙතත් අයි.සී.සී දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී මෙන්ම සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් පැවසුවේ ශ්‍රී ලංකාව යනු ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණයන්ට භාජනය කළ පසුගිය මාස 12ක කාලය තුළ ඉදිරියෙන්ම සිටින රට බවයි.

ඒ සම්බන්ධයෙන් 02 වැනි තැනගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයයි.එසේම මේ පිළිබඳව මාධ්‍යයට කරුණු අනාවරණය කර ඇති මාෂල් වැඩිදුරටත් පවසා ඇත්තේ, ස්ථිර වශයෙන්ම කරුණු සනාථ කර වැරැදිකරු බවට තීන්දු කරන තුරු කිසිදු චූදිතයෙක් පිළිබඳව නම් හෙළි නොකරන බවයි.නමුත් මේ වනවිට මෙරට ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇතත්, හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු මෙන්ම, ජාතික තේරීම් කමිටු සභාපතිවරයෙකුද වූ සනත් ජයසූරියට පසුගිය සතියේ චෝදනා බාරදීමට අයි.සී.සීය පියවර ගතතා.

ඔහුට එරෙහිව මේ වනවිට චෝදනා වී ඇත්තේ අයි.සී.සී දූෂණ මර්දන ඒකකයේ ශ්‍රී ලංකාව තුළ සිදුකරන පරීක්ෂණවලට සහයෝගය නොදීමත්, අදාළ තොරතුරු වසන් කිරීම යන්නයි.
එකී චෝදනාවලට පිළිතුරු දීමට සනත් ජයසූරියට දින 14ක කාලයක් ලබාදී ඇති බව සදහන්. සනත් ජයසූරියට අවම වශයෙන් මාස 06කට හෝ උපරිම වශයෙන් වසර 05ක අයි.සී.සී.යෙන් ක්‍රිකට් තහනමක් පැනවීමේ අවදානමක් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

LEAVE A REPLY