අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව විශේෂ පරික්ෂණයක් පැවැත්විමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.ඒ සඳහා විශේෂ කණ්ඩායමක් අද දිනයේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යැවීමට නියමිතයි.

බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් යෙදවීමට විරෝධය පළ කරමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත වී සිටිනවා.නිරික්ෂණ කුළුණ මතට නැග 40 දෙනෙකුගෙන් පමණ සමන්විත රැඳවියන් පිරිසක් පළමුවෙන් විරෝධතාවය ආරම්භ කළ අතර පසුව තවත් පිරිසක් එම විරෝධතාවයට එක්ව තිබුනා.

ඊයේ රාත්‍රියේ ද ඔවුන් කුළුණ මතට වී විරෝධතාවයේ නිරත වී සිටි බවයි වාර්තා වන්නේ.පසුගිය බදාදා දිනයේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට පියවර ගත් අතර එහිදී බන්ධනාගාරයේ අවට ආරක්ෂාව සහ බන්ධනාගාරයට පිටතින් පැමිණෙන පුද්ගලයින් පරික්ෂා කිරීම ඔවුන් විසින් සිදු කරනු ලබනවා.එම පරික්ෂා කිරිම්වලදී මේ වන විට බන්ධනාගාරය වෙත රැගෙනයාමට උත්සහ කළ සිම් කාඩ්පත් 06ක් සොයා ගැනීමට හැකිවී ඇති බව වාර්තා වනවා.

LEAVE A REPLY