ඩුබායිහි ප‍්‍රධාන පෙළේ හෝටලයකදී අත්අඩංගුවට ගත් මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ කි‍්‍රියාත්මකයි. ඔවුන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වෙන බවයි ඩුබායි කාලීජ් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබෙන්නේ. මාකදුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගත් පිරිස අතර, ප‍්‍රබල පාතාල සාමාජිකයන් කිහිපදෙනෙකු ද සිටින බව එම වාර්තාවල සඳහන්.

අංගොඩ ලොක්කා නැමැති පාතාල සාමාජිකයා ද ඔවුන් සමග සාදයට සහභාගී වී ඇති බවටත්, වැටලීම සිදු කරන අවස්ථාවේදී ඔහු එම ස්ථානයේ රැදී නොසිටි බවටත් තොරතුරු වාර්තා වනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කෙරුණේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ අධීක්‍ෂණය යටතේයි.
මේ අතර මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් පිරිස අතර, රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රයක් සහිත පුද්ගලයෙකුද සිටින බව කාලීජ් ටයිම්ස් පුවත් පත වාර්තාකර තිබෙනවා.

ඩුබායි පොලිසිය හා ශී‍්‍ර ලංකා පොලිසිය ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කර තිබුණා. මෙරට ප‍්‍රවීන ගායක ශීල්පියෙකු ඔහුගේ පුත‍්‍රයා මෙන්ම තවත් ප‍්‍රවීණ නළුවෙකුද මේ අතර සිටින බවටයි වාර්තා පලවී තිබෙන්නේ.

පාතාල කි‍්‍රයාකාරකම්, වංචා හා දූෂණ ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති, හා දැනට විදෙස්ගතව සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද පක්‍ෂ විපක්‍ෂ මන්ති‍්‍රවරුන්ගේ අවසදානය යොමු වුණා.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර නලීන්ද ජයතිස්ස මහතා අගමැතිවරයාගෙන් මේ පිළිබඳ කරුණු විමසා සිටියා

ඒ පිළිබඳ නලීන්ද ජයතිස්ස මහතා නැවතත් කළ විමසීමකදී අගමැතිවරයා පැවසුවේ එම කාරණා පිළිබඳ පුළුල් වාර්තාවක් ඉදිරිපත් කළ හැකි බවයි. එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස පිළිබඳ ඩුබායිහිදී නීතිමය පියවර ගැනීමට නියමිතව ඇතැයිද අගමැතිවරයා පැවසුවා.

මේ අතර සන්ධාන පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආචාර්ය සරත් අමුණුගම මහතා විශේෂ කාරණයක් පිළිබඳ අවදානය යොමු කළා. ඔහු පෙන්වා දුන්නේ අපරාධකරුවන්ට නීතිය හමුවේදීද විශේෂ අවස්ථාවන් උදාවන තත්ත්වයක් නිරීක්‍ෂණය වන බවයි.

LEAVE A REPLY