2020 ජනාධීපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තමන්ට අවස්ථාවක් නොමැති බවත්, එම තත්ත්වය තුළ ජයග‍්‍රහණය කළ හැකි අපේක්‍ෂකයෙකු තම නායකත්වය යටතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේදී පැවසුවා. ඔහු එහිදී අවධාරණය කර සිටියේ එම අපේක්‍ෂකයා ජය ගතහොත් අනිවාර්යෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බවයි.

ඉන්දියාවේ බැංගලෝර් නගරයේදී අද ආරම්භ වූ සමුළුවක ප‍්‍රධාන දේශනය සිදු කරමින් විපක්‍ෂ නායකවරයා මේ බව පැවසුවා. ඉන්දු – ශී‍්‍ර ලංකා අනාගත සබඳතා යන මැයෙන් මෙම සමුළුව සංවිධාන කර තිබුණේ හින්දු පුවත්පත විසින්.

මෙහිදී විපක්‍ෂ නායකවරයා පෙන්වා දුන් තවත් කාරණයක් වන්නේ 2014 වසරේදී ඉන්දු – ශී‍්‍ර ලංකා සබඳතාවල යම් කඩා වැටීමක් ඇති වූ බවයි. 1980 දශකයේදී ද එවැනිම තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බවද ඔහු සිහිපත් කළා.

කෙසේ වෙතත් අදහස් හුවමාරු කර ගනිමින් දෙපාර්ශවය අතර හොඳ හිත අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවත්, ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව එකම පවුලක සාමාජිකයින් බවත් මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඔහු අවධාරණය කර සිටියේ රටවල් පාලනය කරන දේශපාලන පක්‍ෂ වෙනස් වුවද දෙරටේ සබඳතා හා මිත‍්‍රතත්වය වෙනස් නොවිය යුතු බවයි.

LEAVE A REPLY