දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය අද සහ හෙට දිනයන් හිදී වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයින හරහා විශේෂයෙන් වයඹ, උතුරු, උතුරුමැද, දකුණු සහ නැගෙනහිර පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 පමණ දක්වා වැඩි විය හැකියි.

මේ අතර නැගෙනහිර, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි.

මේ අතර මන්නාරම සිට කොළඹ හරහා බලපිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කලේ.

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

LEAVE A REPLY