නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නුවර අල් නූර් හා ලින් වුඞ් මස්ජීඞ් නමැති මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කරමින් එල්ලවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

එමෙන්ම තවත් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද එරට වාර්තා පැවසුවා. සිකුරාදා දිනයේ විශේෂ දේවමෙහෙයකට සහභාගී වීමට පැමිණ සිටි පරිසක් මෙම ප‍්‍රහාරයට ගොදුරු වුණා.

මේ අතර බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම මෙම අවස්ථාවේ දේවස්ථානයට පැමිණෙමින් සිටි බවත් නවසීලන්ත වාර්තා පැවසුවා. කෙසේ වෙතත් ඔවුන්ට කිසිදු බලපෑමක් සිදුව නැහැ. ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණේ බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයින් අනූ නවයෙන් දිවි බේරා ගත් බවයි.

ගිනිඅවි කිහිපයකින් සන්නද්ධ තුවක්කුකරුවෙකු විසින් අගක් මුලක් නොමැතිව සිදු කළ මෙම වෙඩි තැබීම පිළිබඳ ලෝකයේම අවදානය යොමු වී ඇති අතර, ජාත්‍යන්තර මාධ්‍ය අද විශේෂ අවදානයක් යොමු කළ පුවතද මෙයයි.

වෙඩික්කරු මෝටර් රථයකින් පැමිණ ඇති බවත්, ඉවක් බවක් නොමැතිව දේවස්ථානය තුළ සිටි සියලූ දෙනා ඉලක්ක කර වෙඩි තැබූ බවත් එම වාර්තා පැවසුවා. එමෙන්ම වෙඩි තබන ආකාරය දැක්වෙන ඔහු විසින්ම පටිගත කළ විඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුදායක තත්ත්වය පහව යන තුරු නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නුවර සියලූම මුස්ලිම් දේවස්ථාන තාවකාලිකව වසා දැමීමටද නවසීලන්ත රජය නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY