අද පස්වරුවේ කොළඹ කොටහේන ප‍්‍රදේශයේදී ද පිපිරීමක් සිදු වුණා. නවතා තිබූ වෑන් රථයක් තුළ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පුපුරුවා හැර නිශ්කි‍්‍රය කිරීමට සිදු වූ බවයි පොලිසිය පැවසුවේ. ප‍්‍රදේශයේ ජනතාව ඉවත් කර එම කි‍්‍රයාව සිදු කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවැසුවා. විශේෂ කාර්ය බලකාය විසිනුයි එම කටයුත්ත සිදු කර තිබුණේ. දින දෙකක සිට නවතා තිබූ වෑන් රථයක් පරීක්‍ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එහි පුපුරණ ද්‍රව්‍ය ඇති බවයි.

මේ අතර වෑන් රථය තුළ සිට පලා ගිය බව කියන පුද්ගලයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එමෙන්ම කොටුව දුම්රියපොළ ආසන්නයේ සහ කොටුව බස් නැවතුම්පළ ආසන්නයේද ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදෙසි මෙහෙයුමක් සිදු කළා. සැකකටයුතු යමක් ඇති බවට ප‍්‍රදේශවාසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි එම සෝදිසිය සිදු කළේ. එමෙන්ම ගල්කිස්ස, කොට්ටාව ඇතුළු ප‍්‍රදේශ ගණනාවක සැකකටයුතු ස්ථාන පරීක්‍ෂා කෙරුණු බවද පොලිසිය පැවසුවා.

ඊයේ සිදු වූ පිපිරීම් 08 න් මිය ගිය ගණන 290 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ 500 ට වැඩි පිරිසක් මේ වන විටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින අතර, ඒ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන තුවාලකරුවන් පිරිසක්ද සිටින බවටයි තොරතුරු වාරතා වන්නේ.

මේ අතර ෂැංගී‍්‍රලා, සිනමන් ග‍්‍රෑන්ඞ් හා කිංස්බරි යන හෝටල්වලට එල්ල වූ ප‍්‍රහාරවලින් විදේශිකයින් 32 කු පමණ ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

දෙමටගොඩ ගුවන් පාලම අසළ දී නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන් තිදෙනාට උසස්වීම් ලබා දීමට පොලිස්පතිවරයා කටයුතු පියවර ගෙන තිබෙනවා.

ජීවිතක්ෂයට පත් උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර මහතා පොලිස් පරීක්ෂක තනතුරටත්, පොලිස් කොස්තාපල්වරුන් වන භාතිය රත්නායක බණ්ඩාර හා ලහිරු උමේෂ දුලංජන යන අය පොලිස් සැරයන් තනතුරටත් උසස් කර තිබෙනවා.

LEAVE A REPLY