අද පාර්ලිමේන්තුව කැඳවනු ලබූවේ ඇති වී තිබෙන හදිසි තත්ත්වය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ හා විපක්‍ෂ නායකවරයාගේ අදහස් දැක්වීම් සඳහායි. කෙසේ වෙතත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හා හිටපු අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාටද අදහස් දැක්වීම සඳහා අවස්ථාව හිමිවුණා.

කෙසේ වෙතත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටියේ බෝම්බ ප‍්‍රහාරවලට ලක්වූ කිතුනු දේවස්ථාන වෙත ගිය තමන්ට, මීට වසර ගණනාවකට පෙර කැබිතිගොල්ලෑවේ ඇති වූ ඛේදවාචකය සිහිපත් වූ බවයි.
එමෙන්ම පාස්කු ඉරිදා දිනයේදී කිසිදු දේවස්ථානයක් වෙත ආරක්‍ෂාව යොදවා නොතිබූ බවත් ඔහු සිහිපත් කළා.

බුද්ධි අංශ අනතුරු අගවා තිබියදී නිවැරදි වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැගීමට අසමත් වීම හේතුවෙන් ආණ්ඩුව මෙම විනාශයට වගකිව යුතු බවද ඔහු අවධාරණය කළා. බුද්ධී අංශ නිලධාරීන් හා රණවිරුවන්ට එරෙහි කි‍්‍රයාපිලිවෙත තුළ ශක්තිමත්ව පැවැති බුද්ධි අංශ කි‍්‍රයාවලිය කඩා වැටීමට ලක්ව ඇතැයිද මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නා.

ත‍්‍රස්තවාදින්ට ආගමක් දහමක් නොමැති බව රට කරන සියළු දෙනා අවබෝධ කර ගත යුතු බවද ඔහු අවධාරණය කළා.

බුද්ධී අංශ අනතුරු ඇගවීම සම්බන්ධයෙන් තමන්ටද කිසිදු තොරතුරක් නොලැබුණු බවත්, එසේ තමන් වෙත තොරතුරු ලැබුණේනම් මෙම තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබූ බවත් මහින්ද රජපක්‍ෂ මහතා පැවැසුවා.

එමෙන්ම ඇති වී තිබෙන තත්ත්වයට රටක් වශයෙන් මුහුණ දීමට කඩිනමින් කටයුතු සම්පාදනය කිරීම රජයේ වගකීම බවයි ඔහු පෙන්වා දුන්නේ.

LEAVE A REPLY