කිතුණු දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 08 දී සිදු වූ පිපිරීම්වලින් මිය ගිය ගණන 321 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ප‍්‍රහාරවලින් තුවාල ලැබූ පිරිස අතරින් 375 කු මේ වන විටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි රජය පවසන්නේ.

එමෙන්ම මෙම ප‍්‍රහාරය හේතුවෙන් විදේශ ජාතිකයින් 38 කු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. විදේශිකයින් 19 කු තුවාල ලබා ප‍්‍රතිකාර ලබමින් සිටින බවද රජයේ වාර්තා සඳහන් කළා. මේ අතර විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය පැවසුවේ මෙරටට පැමිනි විදේශිකයින් 14 කු අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

බෝම්බ පිපිරීම්වලින් අනතුරුව කිසිවෙකු පිළිබඳ තොරතුරක් සොයා ගත නොහැකි වී ඇත්නම්, ඒ පිළිබඳ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත පැමිණ තොරතුරු විමසන ලෙස කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය නිවේදනය කළා. කොළඹ 10, ප‍්‍රැන්සිස් පාරේ, අංක 111 දරන ස්ථානයේ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙතයි එම තොරතුරු ලබා දිය යුතු වන්නේ.

මේ අතර බෝම්බ පිපිරීම්වලින් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පැවසුවේ මීගමුව මහ රෝහලේ මළ සිරුරු 102 ක් තැන්පත් කර තිබූ බවයි. ඒ අතරින් මලසිරුරු 92 ක් ඥාතීන් වෙත බාර දීමටද පියවර ගෙන තිබෙනවා.

කොළඹ ජාතික රෝහලලේ මළ සිරුරු 140 ක් තැන්පත් කර තිබූ අතර, මේ වන විට ඒ අතරින් සිරුරු බොහෝමයක් ඥාතීන් වෙත බාර දීමටයි පියවර ගෙන තිබෙන්නේ. එමෙන්ම මළ සිරුරු 35 ක් හඳුනා නොගත් සිරුරු ලෙස වෙන්කර තබා ඇති බවත්, ඒවා හදුනාගැනීමට මේ දක්වා කිසිවෙකු හෝ නොපැමිණි බවත් රෝහල් ආරංචි පැවසුවා.

කළුබෝවිල රෝහලේ ඇති මළ සිරුරු 05 ක් බාර ගැනීමට කිසිවෙකු හෝ ඉදිරිපත් වී නැතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පැවැසුවා.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, කොළඹ ජාතික රෝහලේ විදේශීය ජාතිකයින්ගේ මළ සිරුරු 20 ක් තැන්පත් කර ඇති බවයි.

මඩකළපුව ශික්ෂණ රෝහලට මළ සිරුරු 29 ක් ලැබී තිබූණා. ඒ අතරින් සිරුරු 23 ක් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඥාතීන්ට බාර දිමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් පිරිසකගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඊට අදාල ආගමික කටයුතු සිදු කෙරුණේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමන්ගේ ප‍්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට ප‍්‍රදේශයේ විශාල ජනකායක් එක්ව සිටි අතර, මියගිය එම පිරිසගේ දේහයන් මීගමුව ප‍්‍රදේශයේදී එකම ස්ථානයක භූමිදානය කිරීමටයි පියවර ගෙන තිබුණේ.

LEAVE A REPLY