කිතුනු දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 08 ක සිදුවූ බෝම්බ ප‍්‍රහාරවලට අදාළව මේ වනවිට සැකකරුවන් 40 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා කි‍්‍රයාත්මකයි. එම මෙහෙයුම් සිදු වන්නේ හදිසි නීතිය බලාත්මක කර ඇති මෙහොතකයි. ඒ තුළ මෙහෙයුම් පුළුල්ව සිදු කිරීමටත් අවස්ථාව උදා වී තිබෙනවා.

දිවයිනේ සිදු වූ අන්තවාදී ප‍්‍රහාර මාලාවන්ට සම්බන්ධ සැකකරුවන් වෙත කුලී පදනම මත පානදුර, කෙසෙල්වත්ත, පරත්ත පාර, ෂෙරිෆ් මාවත ප‍්‍රදේශයේ නිවසක් ලබාදුන් පුද්ගලයෙකුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි රැුඳී සිටි සැකකරුවන් විසින් හිමිකරුට රුපියල් හත් ලක්ෂ අසූ දහසක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබාදී ඇති බවද මේ දක්වා සිදු කර ඇති විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් දෙදෙනෙකු නවාතැන් ගෙන සිටි බව කියන පානදුර කෙසෙල්වත්ත, පරත්ත, ශෙරිෆ් ප‍්‍රදේශයේ පිහිටි නිවස රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. පිපිරීම් සඳහා බෝම්බ සැකසීම මෙම ස්ථානයේ සිදුව ඇති බවයි රස පරීක්‍ෂකවරයාගේ නිගමනය වී ඇත්තේ.

එමෙන්ම තවත් කාරණයක් වන්නේ දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් සැකකටයුතු පාර්සල් පිළිබඳ දැනුම්දීම් ලැබෙමින් පැවැතීමයි. ඇතැම් පාර්සල් පරීක්‍ෂා කිරීමේදී නිරීක්‍ෂණය වී ඇත්තේ ඒවා තුළ ගල්කැට පමණක් තිබූ බවයි. ජනතාව කලබලයට පත් කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව සිදු කරන කි‍්‍රයාවක් ලෙසයි මෙම තත්ත්වය හදුනාගෙන තිබෙන්නේ.

කෙසේ වෙතත් පොලිිසිය පැවසුවේ සැකකටයුතු පාර්සල් පිළිබඳ ලැබෙන සෑම තොරතුරකට අනුව පරීක්‍ෂණ සිදුකරන බවයි.

මේ අතර නගර ආශ‍්‍රිතව රථ වාහන නවතා තැබීමේදී සහ රියදුරු ඉන් බැහැරව යන අවස්ථාවලදී වඩාත් වගකීමෙන් යුතුව කි‍්‍රයා කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. මාර්ගය දෙපස වාහන නවතා යන්නේ නම් දුරකතන අංකය සහ නම සඳහන් පත‍්‍රිකාවක් වාහනයේ ඉදිරිපස වීදුරුවේ ප‍්‍රදර්ශනය කර තබන ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.

එමෙන්ම තවත් කාරණයක් වන්නේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලින් මියගිය අය මිහිදන් කරන සෑම සෑම සුසාන භූමියකටම ආරක්‍ෂාව ලබා දීමට පියවර ගෙන තිබීමයි. සුසාන භූමි අවට බෝම්බ සවිකර ඇති බවට ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී තිබීම ඊට හේතුවයි.

කටුවපිටිය දේවස්ථානයේ බෝමබ පිපිරිමෙන් මිය ගිය පිරිස් මිහිදන් කරන ඬේවිට්වත්ත සුසාන භූමිය අවටද අද සිට එම ආරක්‍ෂක වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කර තිබෙනවා. සුසාන භූමි තුළට ජනතාව ඇතුළු කර ගන්නේද විශේෂ පරීක්‍ෂාවකින් අනතුරුවයි. එමෙන්ම දේහයන් මිහිදන් කිරීමෙන් පසුව වහාම එම ස්ථාන වලින් ඉවත් වන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.

LEAVE A REPLY