රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දුන්නා. ඒකාබද්ධ විපක්ෂය විසින් සම්පාදනය කර ඇති මෙම යෝජනාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද අත්සන් තබා තිබෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, සුමේධා ජයසේන, නිශාන්ත මුතුහෙට්ටිගම, සුසිල් පේ්‍්‍රමජයන්ත්, අනුරාධ ජයරත්න ඇතුලූ පිරිසක් ද එම යෝජනාවට අත්සන් තබා තිබෙනවා. මෙම යෝජනාව අද කතානායකවරයා වෙත භාර දී තිබුණේ පාර්ලිමේන්තු නියෝජිතයින් 64 දෙනෙකුගේ අත්සන් සහිතවයි.

රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වී ඇති පළමු හා බරපතලම චෝදනාව වන්නේ අපේ‍්‍රල් 21 වනදා ස්ථාන 09 කට එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් නිදහස් කරන්නැයි යුද හමුදාපතිවරයාට බලපෑම් කර ඇති බවයි. යුද හමුදාපතිවරයා ද මාධ්‍ය ඔස්සේ මේ බව සදහන් කර ඇතැයි ද එම විශ්වාසභංග යෝජනාවට ඇතුලත් කර තිබෙනවා.

චෝදනා 10 කින් සමන්විත එම විශ්වාසභංග යෝජනාවේ දෙවැනි කාරණය ලෙස දක්වා ඇත්තේ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ ඉම්සාන් අහමඞ් ඊබ‍්‍රාහිම් යන අයට අයත් කර්මාන්ත ශාලාවට සම්මතයට පටහැනි ලෙස වානිජ හා කර්මාන්ත අමාත්‍යංශයෙන් හිස් පතොරොම් කොපු සපයා ඇති බවයි. රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ භාණ්ඩාගාරිකවරයා ත‍්‍රස්තවාදී සැලසුම් පිළිබද තොරතුරු දැන සිටියත් ඒවා බලධාරීන්ට හෙළි නොකිරීමට වගබලාගෙන ඇති බවද එහි සදහන් කර තිබෙනවා.

එහි දැක්වෙන තවත් කාරණයක් වන්නේ අල්හාජ් මොහොමඞ් ඊබ‍්‍රාහිම් යන අය රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාගේ හිතවතෙකු බවත් මරාගෙන මැරෙන ප‍්‍රහාර සදහා ඊබ‍්‍රාහිම් යන අයගේ පුතුන් දෙදෙනෙකු දායක වී තිබීම තුළ සැකයක් මතුවන බවයි. එමෙන්ම ඇමතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි මව්ලවිවරයෙකු ත‍්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන තිබීම ඇතුලූ කරුණු 10 ක් මුල්කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සැක සහිත කාරණා පැහැදිලිව තහවුරු වී තිබියදී ඒ පිළිබද රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීමට පොලීසිය අසමත් වී ඇති බවත් ඔහු අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම විමර්ශනවලට බාධාවක් වී ඇති බවත් එමගින් අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY