ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය කාඩිෆ් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායමේ පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.  කෙසේ වෙතත් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක වීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29 යි පන්දු 02 දී  සියළු දෙනා දැවී  රැස් කළේ ලකුණු 130 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුළු 03 ලකුණු 46ක් තුළ බිද වැටුනා. පළමු පන්දුවාරයේ දෙවන පන්දුවේදී ලකුණු 04 ක් ලබා සිටි ලහිරු තිරිමාන්න දැවී ගිය අතර, ලකුණු අතරට පිවිසෙමින් සිටියදී කුසල් ජනිත් පෙරේරා  ලකුණු 29  ට දැවී ගියා. එමෙන්ම වේගවත් ඉනිමක් දියත් කළ තිසර පෙරේරාද ලකුණු 27 ට දැවී යාමත් සමග ශ්‍රී ලංකා ලකුණු පුවරුව මන්දගාමී වුණා.

කුසල් මෙන්ඩිස් හා ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු නොලබාම දැවී ගියා. වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි කඩුළු තුනක් දවා ගත්තා. හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 51  ක් ලබා ගැනීමට සමත් වුණා.

නවසීලන්තය මේ වන විට සිය පිළිතුරු ඉනිම ආරම්භ කර ඇති අතර, ඔවුන්ට හිමිවී ඇති ඉලක්කය ලකුණු 137 ක්.

LEAVE A REPLY