පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරු 03.30ට යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

විශේෂ කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා අද දින සාක්ෂි ලබාදීමට පැමිණෙන බවයි.

කෙසේ වෙතත්, පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද දින සාක්ෂි ලබා දීම සඳහා හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට පැමිණෙන ලෙස දන්වා නොමැති බව වාර්තා වනවා .

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඊයේ දිනයේ දී කියා සිටියේ, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ රාජකාරීමය සමයේ දී සිදු වු පැමිණිලි සහ ඒ හා ආදාල ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම සඳහා ඔහු අද දිනයේ කැඳවනු ඇති බවයි.

හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ සමාජිකයෙකුද වෙනවා.

එමෙන්ම හිටපු ඔහු පසුගිය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබු නිලධාරියෙකු වීමද විශේෂත්වයක්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY