වර්ජනයේ නිරත ජාතික සේවක සංගමයට අනුබද්ධ ශ්‍රී ලංගම සේවකයින් සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා අතර සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, අරලියගහ මන්දිරයේදීයි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු රජයේ නියෝජිතයින් පිරිසක් සාකච්ඡාව සඳහා එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද සහභාගි වී සිටිනවා.

වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමග ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

දැනට ලබාදී ඇති උසස්වීම්වලට අදාළ වැටුප් ලබාදෙන ලෙස බලකරමින් ජාතික සේවක සංගමයේ ශ්‍රී ලංගම සේවකයින් මෙම වර්ජනය ආරම්භ කළේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිටයි.

මේ අතර, ජාතික සේවක සංගමයට අනුබද්ධ ශ්‍රී ලංගම සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට හැටන් ඩිපෝවේ සියලුම සේවකයන්ද එක්ව සිටිනවා.

හැටන් ලංගම ඩිපෝවේ සභාපති, ඩිපෝ පරීක්ෂක රෝහණ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, සියලුම බස්රථ සේවකයන් සිය බස්රථ මේ වනවිට හැටන් බස් නැවතුම්පළේ ගාල් කර වර්ජනයට එක්ව සිටින බවයි.

කෙසේවෙතත්, දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක ලංගම බස් ධාවනය ඊයේ දිනයේ අඩාල වී තිබුණද බොහෝ ප්‍රදේශවල බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදුවූ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY