මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඉකුත් ජුනි මස 03 වැනිදා රාවුෆ් හකීම්, රිෂාඞ් බදුර්දීන්, කබීර් හෂීම් සහ අබ්දුල් හලිම් යන පිරිස සිය අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වුණා.

එහිදී පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍යංශ 04 ක් සඳහා රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත පසුගිය සතියේදී යවා ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂය විසින් නම් කර ඒවා තිබු නම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා විසින් පුරප්පාඩුවී ඇති අමාත්‍යංශයන්හි වැඩබැලීම සඳහා රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු පත් කළා.

කැබිනට් ඇමැතිවරුන් ඉල්ලා අස්වී ඇති අවස්ථාවක එම අමාත්‍යාංශයන්හි වැඩබලන ඇමැතිවරුන් පත්කළ නොහැකි බවත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව එම පත්කිරීම් ව්‍යවස්ථාවට පටහැනි බවත් අගමැතිවරයා විසින් සිය ලිපිය මගින් කරුණු පෙන්වාදී තිබෙනවා.

ඇමැතිවරුන් පත් කිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔවුන්ගේ නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතු බවද, එහෙත් තමා එවැනි නිර්දේශ කිරීමක් කර නැතැයිද අගමැතිවරයා ජනාධිපතිවරයාට දන්වා යවා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY