2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ට්‍රරෑලියා තරගය ඊයේ ලන්ඩන් හිදී නිමා වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 87ක අමිහිරි පරාජයක් උරුම කරමින්.

ලෝක කුසලානයේ සෑම තරගයකටම පෙර හා පසුව ඒ ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා.

නමුත් ඊයේ තරගයට පසුව පැවැත්වු එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ලංකා කණ්ඩායම සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලානය හෝ වෙනත් ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට පෙර, මෙවැනි මාධ්‍ය සාකච්ඡා සඳහා ක්‍රීඩකයින් හෝ නිලධාරීන් සහභාගී කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ඒ ඒ කණ්ඩායම් අතර යම් ගිවිසුමකට එළඹ තිබෙනවා.

එම ගිවිසුම කඩ කර තිබීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමටද යම් සම්භාවිතාවක් ඇති බව සඳහන්.

ඊයේ පැවති මාධ්‍ය හමුව ආරම්භ වූ අවස්ථාවේ දී එය මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම එම මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව පවසා ඇතැයි සඳහන්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY