පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සාක්ෂි විමසන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් කැඳවා තිබෙනවා.

ඔහුට අමතරව කාත්තන්කුඩිය ප්‍රදේශයේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින්ද සාක්ෂි ලබාගැනීම සඳහා කැඳවා ඇති බව සඳහන්.

අද පස්වරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්වීමට නියමිතයි.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සාක්ෂි විමසන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඊයේ රැස්වුණේ මෙතෙක් ඉදිරිපත් වූ සාක්ෂිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහායි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ජාතික බුද්ධි ප්‍රධානී ධුරයෙන් මෑතකදී ඉල්ලා අස්වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන මහත්වරුන් මීට පෙර මෙම තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියා.

මීට අමතරව අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මවුලවිතුමන්ද සාක්ෂි ලබාදුන්නා.

පෙරේදා දිනයේදී සාක්ෂි ලබාදී තිබුණේ, කාත්තන්කුඩි පොලීසියේ වත්මන් ස්ථානාධිපතිවරයා සහ හිටපු ස්ථානාධිපතිවරයා සහ කාත්තන්කුඩි සුෆී මුස්ලිම් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන මොහොමදු සෙයිලාන් මවුලවිතුමන් යන අයයි.

මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඉදිරි සභා වාරයන් මාධ්‍යයට විවෘත කිරීමෙන් වැළකීමට තීරණය කර ඇති බව පසුගියදා වාර්තා වුණා.

ඒ අනුව ඉදිරි සාක්ෂි විමසීම්වලදී සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව හෙළි නොකිරීමටයි කාරක සභාව තීරණය කර ඇත්තේ.

පසුගිය සභාවාරයන්හිදී මාධ්‍යයට විවෘත කළ මෙම කාරක සභාව ජාතික ආරක්ෂාවට යම් අගතිදායක තත්ත්වයක් ඇති වන්නේ යැයි හැෙගන අවස්ථාවල මාධ්‍ය ඉවත්කර එම සාක්ෂි විමසීම සිදුකරනු ලැබුවා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY