දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, සිය ගැටලුරෑවලට ආණ්ඩුව විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපය ඇතුළත අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම් වන බවයි දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා කියාසිටියේ.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දෛනික දුම්රිය ගමන්වාර 340ක් පමණ අවලංගු වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

දෛනිකව දුම්රිය ගමන් වාර 360ක් පමණ ධාවනය කෙරෙන බව සඳහන්.

ඊයේ උදෑසන කාර්යාල දුම්රිය 08ක් ධාවනය කර ඇති අතර, පස්වරුවේද කාර්යාලීය දුම්රිය 08ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබුණා.

ඉන්ධන ප්‍රවාහන දුම්රිය දෙකක් කටුනායක බලා පිටත්ව ගොස් ඇති අතර, අමතරව තවත් සාමාන්‍ය දුම්රිය ගමන් වාර දෙකක් සිදුකර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

සති අන්තයේ ගම්බිම් බලා යන මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා පිටකොටුව මධ්‍යම බස් සංකීර්ණයෙන් ශ්‍රී ලංගම බස් රථ අතිරේකව යොදවා ඇති බව එහි ප්‍රධාන කළමනාකරු එච්.ජී.සී. කිත්සිරි මහතා කියාසිටියා.

කෙසේ වෙතත්, දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් රැසක් පත්ව තිබෙනවා.

සති අන්තයේ ගම්බිම් බලායන ජනතාවද මෙම වර්ජනය හේතුවෙන් දැඩී පීඩාවට පත්වූ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඊයේ පස්වරු 6.45 වන විට සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බවද සඳහන්.

පොලිස් කැරලි මර්ධන ඒකකයේ සාමාජිකයන් ඇතුළු පොලිස් නිලධාරීන් ද ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් යොදවා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ආරක්ෂාව තර කර තිබුණා.

මේ අතර, දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය හේතුවෙන් මගීන්ට ඇතිවන පීඩා අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළා.

මගීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පෞද්ගලික බස්රථ ද අවශ්‍ය තරම් යොදවා ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියාසිටියේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY