එංගලන්තයේ ලීඞ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලූ 7 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලූ 7 ක් දැවී ලකුණු 264 ක් ලබාගත් අතර, එම ඉලක්කය ඉක්මවා යාම සඳහා ඉන්දීය පිතිකරුවන්ට අවශ්‍ය වූයේ ඕවර 43යි පන්දු 3 ක් පමණයි.

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ තරගයේදී තවත් වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තෙවැනි වැඩිම කඩුලූ ලාභියා බවට පත් වෙමින්.

මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව සමග පැවැති තරගයේ දවා ගත් කඩුල්ලත් සමගයි මාලිංග එම වාර්තාව තමන් සතු කර ගත්තේ.

පාකිස්තානයේ වසීම් අක්‍රම් කඩුලූ 55ක් දවා ගනිමින් තබා තිබූ වාර්තාව අභිබවා යමින් ඔහු එම වාර්තාව පිහිටවනු ලැබුවා.

ලසිත් මාලිංග මේ වන විට ලෝක කුසලාන තරගාවලියන්හීදී කඩුලූ 56ක් බිද හෙලා තිබෙනවා.

ඉන්දියාට එරෙහිව ලසිත් මාලිංග ඊයේ ක්‍රීඩා කළ තරගය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගයයි

මේ අතර, අත්දැකීම් බහුල ක්‍්‍රීඩකයින් අවම වීම ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍්‍රිකට් තරගාවලියේ ඉදිරියට යාමට බාධාවක් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව සමග පැවැති තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව සදහන් කළා.

LEAVE A REPLY