පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේදී කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතායි.

කෙසේවෙතත් ඔහුගේ පැමිණීම මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකයි පවතින්නේ.

කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණද දයාසිරි ජයසේකර මහතා ඊට සහභාගී වූයේ නැහැ.

කෙසේ වෙතත්, තමා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනීසිටිය යුතුද යන්න ඒ මහතා කථානායක කරු ජයසූරිය මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදුන් කථානායකවරයා කියාසිටියේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත්කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සාක්ෂි විමසීම සඳහා කැඳවූ විට ඊට සහභාගී වී සාක්ෂි ලබාදීම යෝග්‍ය බවයි.

එසේ සහභාගි නොවීම පාර්ලිමේන්තුවට සිදුකරන අගෞරවයක් බවත් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළා.

කථානායකවරයා අවධාරණය කළේ, පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සියලු පක්ෂවල ඒකමතික යෝජනාවක් අනුව සිදුකළ බවයි.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි විමසීමට තමන්ද කැඳවා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

සාක්ෂි ලබාදීම සඳහා කාරක සභාවට සහභාගී වියයුතුද නැද්ද යන්න පිළිබඳ ස්ථාවර නියෝග ප්‍රකාරව කතානායකවරයා තීන්දුවක් ලබා දී ඇති බැවින් තවදුරටත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ දී විවාද කිරීම කාලය නාස්ති කිරීමක් බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY