පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද පෙනී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණද ඔහු ඊට සහභාගී වූයේ නැහැ.

කෙසේ වෙතත්, තමා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනීසිටිය යුතුද යන්න දයාසිරි ජයසේකර මහතා, වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදුන් කථානායකවරයා කියාසිටියේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත්කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සාක්ෂි විමසීම සඳහා කැඳවූ විට ඊට සහභාගී වී සාක්ෂි ලබාදීම යෝග්‍ය බවයි.

එසේ සහභාගි නොවීම පාර්ලිමේන්තුවට සිදුකරන අගෞරවයක් බවත් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළා.

කථානායකවරයා අවධාරණය කළේ, පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සියලු පක්ෂවල ඒකමතික යෝජනාවක් අනුව සිදුකළ බවයි.

LEAVE A REPLY