ජුලි මස 18 සහ 19 යන දෙදින අසනිප නිවාඩු වාර්තා කර පාසල් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසනවා.

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ශ්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය උතුරු මැද පළාත් හිටපු මහ ඇමති රංජිත් සමරකොන් මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීද මේ බව තහවුරු කළා.

බි.සි.පෙරේරා වැටුප් විෂමතා කමිටු නිර්දේශය පරිදි වැටුප් විෂමතා ඉවත් නොකිරීම, අධ්‍යාපනය සඳහා පොරොන්දු වූ පරිදි සියයට හයක මුදලක් වෙන් නොකිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹෙන බවයි ඇය එහිදී කියාසිටියේ.

එමෙන්ම, 2016 වසරේ සිට ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව සහ ඉගැන්වීමේ ක්‍රියාවලියට අමතරව ගුරුවරුන් ලවා සිදුකරන අනවශ්‍ය කොල පිරවීමත් අසනිප නිවාඩු වාර්තා කිරීමට තවත් හේතුවක් බව සඳහන්.

LEAVE A REPLY