කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි සම්බන්ධ නඩුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබෙනවා.

සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කරන ලද බවටයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.

ඒ අනුව පැමිණිලිකාර මවුවරුන් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කළ යුතු ක්‍රමවේදය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප අධිකරණ වාර්තාකරු කියාසිටියේ.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මාධ්‍ය හරහා එල්ල කළ වඳ සැත්කම් හෝ අයථා වත්කම් චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බව පසුගිය නඩුවාරයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබුණා.

වෛද්‍යවරයාගේ සැත්කම්වලින් පසු විවිධ අසාත්මිකතා ඇතිවූ බවට ලැබුණු පැමිණිලි 615ක් අතරින් 468ක් හුදු සැකය මත පදනම්ව පැමිණිලි කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, විමර්ශන මට්ටමේ ඇති පැමිණිලි 147ක් අතරින් මවුවරුන් 13 දෙනෙකු විශේෂඥ කමිටුවට යොමු කළ බවත් ඒ අතරින් ද පරීක්ෂණයට භාජනය කළ යුතු තත්වයේ සිටින්නේ මවුවරුන් දෙදෙනෙකු පමණක් බවත් ඉතිරි පැමිණිලි 11ම අසත්‍ය බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දුන්නා.

LEAVE A REPLY