කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පිපිරී ගිය බෝම්බයට හසුව බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ නීතිඥවරයෙකු රජයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ඉල්ලා ශේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලීමට නියමිතව තිබෙනවා.

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුම්වත්ව තිබියදී, ඊට නිසි පිළියම් නොයෙදීමෙන් තමන්ට මෙම හානිය සිදු වූ බව පවසමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කෙරුණා.

නීතිඥවරයෙකු වන මෝදිත ටිකිරි බණ්ඩාර ඒකනායක මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, රජයේ බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන, විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක යන මහත්වරුන් සහ නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් 44 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ, මෙම බෝම්බ ප්‍රහාරයෙන් දැඩි කායිකව පීඩාව පත් තමා ඇතුළු රටෙහි ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැඟී ඇති බැවින්, මෙම තත්ත්වය තුළ රජය රටෙහි ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කළ යුතුව ඇති බවයි.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY