එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ පනවා තිබෙනවා.

ඒ, ඊයේ ඔස්ට්‍රලියාවට එරෙහිව නිමා වූ දෙවන අවසන් පූර්ව තරගයේ දී ඔහු අයි.සී.සී. විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ජේස්න් රෝයි විසින් කඩුලු රකින ක්‍රීඩකයාට උඩ පන්දුවක් ලබා දී දැවි ගිය බවට විනිසුරු කුමාර් ධර්මසේන ලබා දුන් තීන්දුවට එකග නොවීමයි ඔහුට එරෙහි චෝදනාව වූයේ.

පුනරූපණවලින් පෙන්නුම් කළේ එම පන්දුව ජේසන් රෝයිගේ පිත්තේ නොවදින බවයි.

කෙසේ වෙතත්, විනිසුරු තීරණය අවසන් තීරණය වන බැවින් ජේසන් රෝයිට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

එම අවස්ථාවේ දී ඔහු දැඩි ලෙස විනිසුරු තීරණය අභියෝගයට ලක් කරනු දක්නට ලැබුණා.

එය අයි.සී.සී. විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමක් බවටයි තරග තීරක රංජන් මඩුගල්ල තීරණය කළේ.

ඒ අනුව ජේසන් රෝයිට තරග ගාස්තුවෙන් සියයට 30ක දඩ මුදලක් පැනවීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගත්තේ.

LEAVE A REPLY