වියළි කාලගුණික තත්ත්වය දිනෙන් දිනම ජනතාව පීඩාවට පත්කරමින් සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නියගය සහිත ප‍්‍රදේශවල හයලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ. උතුර නැගෙනහිර යන පළාත්වල මෙන්ම පුත්තලම හා කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවල ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටිනවා.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පීඩාවට පත් ජනතාව වෙත පානීය ජලය ලබාදීම සදහා රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති බවයි. එමෙන්ම බවුසර් සහ ජලටැංකි 20,000 ක් පමණ එම ප‍්‍රදේශවලට යොමු කිරීමට ද පියවර ගෙන ඇති අතර සහන සැලසීමේ සියලූ කටයුතු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක‍්‍රියාත්මකයි. එමෙන්ම කිසියම් පුද්ගලයෙකුට හෝ ප‍්‍රදේශයකට සහන අවශ්‍ය වන්නේ නම් 117 අංකය අමතා දැනුම් දීමක් සිදුකරන ලෙස ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.

මේ අතර පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන ජලාශ සියල්ලේම ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහළ යමින් පවතින අතර එය කෘෂිකර්ම කටයුතු අඩාල කිරීමට හේතු විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. යල කන්නයේ වී වගාව සදහා පොළොන්නරුව පරාක‍්‍රම සමුද‍්‍රයෙන් අගෝස්තු මස 25 වනදා දක්වා ජලය නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම අනෙකුත් ජලාශ යටතේ ද සුලූ කාලයක් ජලය ලබාදීමේ හැකියාවක් පවතිනවා. කෙසේවෙතත් ඉදිරි කෘෂිකාර්මික කටයුතු සදහා ජලාශවල පවතින ජලය ප‍්‍රමාණවත් නොවන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY