යාපනය, මනිපායි, ඉනුවිල් පාර ප්‍රදේශයේ පොලිසිය කළ වෙඩි තැබීමකින් ආවා කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රි 8.45 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

ආවා කල්ලි සාමාජිකයින් පිරිසක් ඉනුවිල් පාර ප්‍රදේශයේ නිවාස වලට පහරදීමට පැමිණෙන බවට ලද තොරතුරක් මත පොලිසිය එම ප්‍රදේශයේ රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීමේ යෙදී සිට තිබෙනවා.

එහිදි යතුරු පැදි තුනකින් පැමිණි ආවා කල්ලි සාමාජිකයින් 6 දෙනෙකු පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී ඔවුන් පොලිසියට කඩුවලින් පහරදීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ පොලීසිය ඔවුන්ට වෙඩි තබා ඇති තබා ඇති අතර ඉන් එක් ආවා කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ, සෙසු ආවා කල්ලි සාමාජිකයින් පස් දෙනා පලාගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, සෝදිසි මෙහෙයුම්වලින් අනතුරුව කඩු තුනක් හා යතුරු පැදියක්ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

LEAVE A REPLY