මෙරට ශාසන ඉතිහාසයට නව පරිච්ඡ්දයක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමට අද අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා වන සම්මුතියකට අද පස්වරු 2.30 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අතසන් තබන බවයි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර නා හිමියන් සඳහන් කළේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි හිමියන්ගේ ප්‍රදානත්වයෙන් සම්මුතියට අත්සන් තැබීම සිදු කෙරෙනවා.

ඊට අත්සන් තැබීමෙන් පසු මෙම නිකායන් ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව ලෙස හඳුන්වන බව පල්ලෙකන්දේ රතනසාර නා හිමියන් ප්‍රකාශ කළා.

1803 වසරේ බුරුමයේ අමරපුර දේශයෙන් උපසම්පදාව ලබා ගත් පූජ්‍ය අඹගස්පිටියේ ඥානවිමලතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය පිහිටවනු ලැබුවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කෙරුණේ, 1863 වසරේ බුරුමයේ රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව ලබාගත් අඹගහවත්තේ ඉන්දාසභවර ඥානසාමි හිමියන්ගේ මුලිකත්වයෙන්.

LEAVE A REPLY