අලුබදුන ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත් වුණා. ඒ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී එංගලන්තය සමග පැවති සිව්වන ටෙස්ට් තරගය ලකුණු 185 කින් ජය ගනිමින්. මෙවර අලුබදුන තරගාවලියේ සත්කාරකත්වය දරන්නේද එංගලන්තයයි. මේ අනුව ඔස්ටේ්‍රලියානු කන්ඩායමක් එංගලන්තයේදි අලුබදුන ක්‍රිකට් ශූරතාවයක් දිනාගෙන ඇත්තේ වසර 18 කට පසුව වීමද විශේෂත්වයක්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 497 ක් රැස්කර ගෙන සිටියදී පළමු ඉනිම අත්හිටවූ අතර දෙවන ඉනිම කඩුලු 6 කට ලකුණු 186 ක්ව තිබියදී අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර එංගලන්තයේ පළමු ඉනිම ලකුණු 301 කට සීමාවුණා. තරගය ජය ගැනීමට ඔවුන්ට ලකුණු 383 ක ඉලක්කයක් හිමිවුණ ද එංගලන්තයට සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 187 ක් පමණයි.
පළමු ඉනිමේ දී ලකුණු 211 ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 82 ක් රැස්කළ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ ස්ටීවන් ස්මිත් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා.

LEAVE A REPLY