එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා ධනාත්මක සුභවාදී සාකච්ඡාවක් කළ බවත් කෙටි කලක් ඇතුළත සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර කොළඹ අරලියගහ මන්දිරයේ දී ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියට යාම තම එකම අරමුණ බවත්, මෙවැනි සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දිනවලදී පැවැත්වීමට අදහස් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියා.

ඔහු ප්‍රකාශ කළේ, සාකච්ඡාවේ සියලු තොරතුරු හෙළි කළ නොහැකි වන්නේ ප්‍රතිවාදීන්ට එයින් යම් වාසියක් අත්වන නිසා බවයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ ජය ගැනීම සඳහා වන මැතිවරණ උපක්‍රම මෙන්ම අපේක්ෂකයා කවුරුන් වුවද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කළ යුතු බවද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම හමුව සිදු වූයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ අගමැතිවරයා අතර ඉකුත් 6 වැනිදා පැවති සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුවයි.
මුලින් එම හමුව ඉකුත් ඉරිදා 8 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර පසුව එය ඊයේ රාත්‍රිය තෙක් කල් ගියා.

එක්සත් ජාතික පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා පමණක් මෙම හමුවට සහ සහභාගී විය යුතු යැයි මුලින් තීරණය වී තිබුණා.

නමුත් ඊයේ රාත්‍රියේ පැවැති විශේෂ සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ද සහභාගි වී සිටියා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY