පවතින අධික වැසි තත්ත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

නායයාම් පූර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පූර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබඳ සැළකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කලාපයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වලකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තමන් ජීවත් වන ප්‍රදේශය නායයාම් අවදානම් කලාපයක් වශයෙන් හදුනාගෙන ඇත්නම්, පහත ලක්ෂණ පිළිබදව සැකිලිමත් වන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

ඒ අනුව පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබඳ අවධානය යොමු කළ යුතු වනවා.

එමෙන්ම ගොඩනැඟිලි බිත්ති ගෙබිම මත ඇතිවන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම සහ එක්වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදී යාම හෝ නැතිවීම ජල උල්පත්වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස් වන්නේ නම් එය නායයාම් ආපදා පුර්ව ලක්ෂණ විය හැකියි.

මේ අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල පැ.කි.මී 70-80 දක්වා, තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.

LEAVE A REPLY