මෙම මස අගදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්තානු සංචාරය තවදුරටත් අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට පුවත් පළවීම හේතුවෙන්.

මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබුණේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කළ අතර, ඉන්පසු පකිස්තානු ක්‍රිකට් ආයතනයද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි ප්‍රහාරයක් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.

ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බවත් සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළම ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන බවත් පකිස්තානු බලධාරීන් සඳහන් කළා.

ප්‍රහාරයක් එල්ල වියහැකි බවට පුවත් පළවීම හේතුවෙන් මේ වනවිට පකිස්තාන් සංචාරය සඳහා කැමැත්ත පළකර සිටින ක්‍රීඩකයින්ද සංචාරයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY