ඇපල් සමාගම ලබන සතියේ නිකුත් කිරීමට නියමිත ඕ.එස්. 13 මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන රහස්‍යතා දෝෂයක් හඳූනාගෙන තිබෙනවා.

සයිබර් ආරක්ෂණ පර්යේෂකයෙකු වන ජොස් රුද්‍රිගෝ විසින් එම මෙහෙයුම් පද්ධතියේ දෝෂය හදුනාගෙන ඇති බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කළේ.

මෙම රහස්‍යතා දෝෂය මඟින් අයි ෆෝන් දුරකථනයක ඇති සියලුම සම්බන්ධතා තොරතුරු, අගුළු තිරය එනම්, ලොක් ස්ක්‍රීන් මගහැර ලබා ගත හැකි බව සඳහන්.

මෙය ඔබගේ පෞද්ගලිකත්වය අවදානමට ලක් කරන ඕ.එස්. 13 මෙහෙයුම් පද්ධතියෙහි පවතින ප්‍රධාන ආරක්ෂක දෝෂයක් ලෙසයි එම සංගමය ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් ඉදිරි සතියේදී ඔබගේ අයි ෆෝන් දුරකථනය ඕ.එස්. 13 මෙහෙයුම් පද්ධතිය දක්වා යාවත්කලීන නොකර, ඉන් පසුව පැමිණෙන ඕ.එස්. 13යි දශම 1 මෙහෙයුම් පද්ධතිය ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙනවා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY