ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධීපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහය ලබාදීමට තීන්දු කළ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද නිල වශයෙන් නිවේදනය කළා. පක්‍ෂයේ ජේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ ජාතික මැතිවරණයකදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට නිහඩව සිටිය නොහැකි බවයි. ඔහු සදහන් කළේ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අවබෝධතා ගිවිසුම් දෙකක් ඇති කර ගැනීමෙන් අනතුරුව ඔහුට සහය ලබාදීමට තීරණය කළ බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභය රජපක්ෂට ලබා දීම සදහා එකග වී ඇති ප‍්‍රධාන ප‍්‍රතිපත්තිමය කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද අවදානය යොමු වී තිබෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, බුද්ධාගමට මුල්තැන ලබා දීම, සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම, ආර්ථිකය නගා සිටුවීම, යහපාලනය තහවුරු කිරීම, මත්ද‍්‍රව්‍ය භාවිතය අඩු කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම, වන සංරක්ෂණය, අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා කිරීම,
විද්‍යාත්මක පදනමක් මත අමාත්‍ය මණ්ඩලය සකස් කිරීම යන කාරණා ඊට ඇතුලත්.

එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීම සහ ඒ වෙනුවෙන් පොදු ලකුණක් හදුන්වාදීම යන කාරණ සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර එකගතා ඇතිකර ගත් බවයි නිදහස් පක්‍ෂ නියෝජිතයින් අද පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ පක්‍ෂය පාවාදීමට සූදානම් කිසිවිටෙක සූදානම් නොමැති බවයි. කෙසේ වෙතත් ප‍්‍රගතිශීලී ගමනක් වෙනුවෙන් දායක වීමේ යුතුකම ඉටුකිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට සිදුවූ බවද ඔහු කියා සිටියා.

මේ අතර, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවී තිබුණා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අවධාරණය කර සිටින්නේ එම වාර්තා මුළුමනින්ම අසත්‍ය බවයි.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වූ අවබෝධතා ගිවිසුම හෙට දිනයේ අත්සන් කිරීමට තීරණය වී තිබෙනවා. සියළු කරුණු සම්පූර්ණ බැවින් ගිවිසුම් අත්සන් කිරීමට දෙපාර්ශවය තීරණය කළ බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවැසුවේ.

මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් කිහිප දෙනෙකුම පැවැසුවේ මෙම ගිවිසුම හෙට දිනයේ අත්සන් තැබීමට තීරණය වූ බවයි. හෙට පෙරවරුවේ කොළඹ පදනම් ආයතයේදී මෙම කටයුත්ත සිදු කිරීමටයි දෙපාර්ශවය තීරණය කර තිබෙනනේ.

LEAVE A REPLY