අපේ‍්‍රල් 21 එල්ල කෙරුණු ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව වළක්වා ගැනිමට කටයුතු නොකිරිම සම්බන්දයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ඇපමත මුදා හරිමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ලබා දී තිබු නියෝගය අද කොළඹ මහාධිකරණය විසින් අවලංගු කළා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කර ඇත්තේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ලබා දී ඇති ඇප නියෝගය නීතියට පටහැනි බවයි.

ඒ අනුව ඇප මත නිදහස්ව සිටි හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් අත්අඩංගුවට ගෙන යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහාඅධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා. මෙම සැකකරුවන්ට ඇප ලබා දීමේදී කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය තමන්ට නැති බලයක් නිර්මාණය කරගනිමින් නීතිය අභිබවා ගොස් ඇප නියෝගය ප‍්‍රකාශයට පත්කර ඇති බවද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා තීන්දුව ලබාදෙමින් ප‍්‍රකාශ කර තිබුණා.

කොළඹ මහාධිකරණය විසින් ඉහත තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර භාරයට පත් කළ අතර, පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය මහාධිකරණයේ නියෝගය පරිදි මෙම සැකකරුවන් දෙදෙනා ලබන 23 වනදා දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමට නියෝග කර තිබුණා.

LEAVE A REPLY