හබරණ හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු මිය යාමට හේතුව විෂ රසායන ශරීර ගත වීමක් බව නිගමනය කර තිබෙනවා.වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, තමන් විසින් පත් කළ කමිටුවේ වාර්තාව මේ වන විට ලැබී ඇති බව යි.

විෂ ශරීර ගත වීමෙන් මෙම මරණ සිදුව ඇති බවයි එම කමිටුව සිය පරීක්ෂණවලින් තහවුරු කර ඇත්තේ.වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ , ශරීර ගත වී ඇති එම විෂ රසායනික ද්‍රව්‍ය කුමක් ද යන්න තහවුරු කර ගැනීමට මේ වන විටත් රජයේ රස පරීක්ෂකවරයා මගින් විමර්ශන ක්‍රියාත්මක බවයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා සත්ත්ව කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට සහ පශු පර්යේෂණ ආයතනයට ද යොමු කළ බව සඳහන්.

මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සිදු කෙරෙන පරීක්ෂණයේ වාර්තාව කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවයි.එම විමර්ශන සඳහා නිලධාරීන් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රියාත්මක බව ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළා.

LEAVE A REPLY