ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ ගාලු මුවදොර ක්‍රිඩාංගණයේදී අද උදෑසන පැවැත්වුනා.ඒ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

යුද හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කලේ , හමුදාවක ප්‍රධානතම කාර්ය වන්නේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි.ඒ සඳහා නිරන්තරයෙන් කැප විය යුතු බවත් එමගින් බියෙන් සැකයෙන් තොර සමාජයක් බිහිවෙන බවත් හමුදාපතිවරයා සඳහන් කළා.

රටේ පවතින තර්ජන විශ්ලේෂණය කර ඒවාට මුහුණ දිය හැකි ශක්තිමත් යුද්ධ හමුදාවක් ගොඩනැඟීම කෙරෙහි තම විශේෂ අවධානය යොමුව ඇති බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී පැවසුවේ

ශ්‍රි ලංකා යුද හමුදාවේ වසර 70 ක සේවා කාලය තුළ ප්‍රථම වතාවට මෙම සංවත්සරයට සමගාමීව නිලධාරීන් 210 ක් සහ සෙසු නිලයන් 7000 ක් උසස් කරනු ලැබ තිබෙනවා.හමුදාපතිවරයා පැවසුවේ , එය එක් දිනක දී මෙතෙක් ලබා දී තිබූ උසස් වීම් දෙගුණයක් බවට පත් කළ වාර්තාවක් බවයි.

රටේ ආරක්ෂකයා වශයෙන් නිබඳව කටයුතු කිරීමට සියලු හමුදා නිලධාරීන් මෙන්ම සියලු හමුදා සෙබළුන් අධිෂ්ඨාන කර ගත යුතු බව ද හමුදාපතිවරයා මෙහිදී පේනවා දුන්නා.

LEAVE A REPLY