ශී‍්‍ර ලාංකික පුවැසියන්ගෙන් හැට ලක්‍ෂයක් දුම්වැටි, මත්පැන් හා අනෙකුත් මත්ද්‍රවවලට ඇබ්බැහි වී සිටින බව මෑතකදී සිදුකළ පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. මේ කොටස සමස්ථ ජනගහනයෙන් හතරෙන් පංගුවකට ආසන්නයි. මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය හා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක මෙහෙයවීමෙන්.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ හිටපු අධ්‍යක්‍ෂ හා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරියේ උපදේශක වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පැවැසුවේ මත්ද්‍රව්‍යට ගොදුරු වෙමින් සිටින ශී‍්‍ර ලාංකික සමාජය අදුරු දිශාවක් වෙත යොමු වෙමින් තිබෙන බවයි.

එම පර්යේෂණයේදී අනාවරණ වී ඇත්තේ මෙරට ජනගහනයෙන් විසිහතර ලක්‍ෂයක් දුම්වැටි පානය කිරීමට ඇබ්බැහි වී ඇති බවයි. එමෙන්ම තවත් තිස් ලක්‍ෂයක් මධ්‍යසාර පානය කිරීමට ඇබ්බැහි වී ඇති බවත්, ලක්‍ෂයකට වැඩි පිරිසක් සැර මත්ද්‍රව්‍ය ලෙස හැදින්වෙන හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතය නැඹුරු වී ඇති බවත් අනාවරණ වී තිබෙනවා. එමෙන්ම තවත් භයානක කාරණයක් ලෙස හදුනාගෙන තිබෙන්නේ කෘතිම අධික විෂ සහිත මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන අයිස් වැනි මත්ද්‍රව්‍ය සමාජය වෙලා ගනිමින් සිටින බවයි.

මේ වන විට එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස ලක්‍ෂය ඉක්මවන බව වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි සඳහන් කළා. එමෙන්ම ගංජා මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන පිරිස ලක්‍ෂ තුන ඉක්මවන අතර, වේදනා නාශක පෙති ඇතුළු අවදානම් ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමට හුරු වී ඇති පිරිස දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත්, එම පිරිස මේ වන විට ලක්‍ෂය ඉක්වන බවත් ඔහු පැවැසුවා.

මේ අතර පර්යේෂණයේදී අවදානය යොමු කර ඇති කාරණයක් වූයේ වයස අවුරුදු 18 ට අඩු ළමා පරපුරේ හැසිරීම් අධ්‍යනය කිරීමයි. එහිදී පාසල් වියේ පසුවන දරුවන් 80 දෙනෙකු දිනකට කිසියම් මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වීමේ ප‍්‍රවනතාවක් පවතින බව අනාවරණ වී ඇති බව සමත්න කුමාර කිතලවආරච්චි මහතා සඳහන් කළා.

වයස අවුරුදු 18 ට අඩු දරුවන් 6000 ක් හෙරෝයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත්, ලක්‍ෂයකට වැඩි පිරිසක් දුම්වැටි භාවිතා කරන බවත් මෙහිදී අනාවරණ වී ඇති බවත් මධ්‍යසාර භාවිතා කරන දරුවන් එක්ලක්‍ෂ විසිදහසක් පමණ සිටින බවත් මෙම අධ්‍යනයේදී අනාවරණ වූ බව ඔහු කියා සිටියා.

LEAVE A REPLY