අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව රෝහල්ගතවී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

ඉකුත් ජනාධිපතිවරණයේ පැවතුනු ආන්දෝලාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට අදාළ නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විමසා සිටියේ එම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින රාජිත සේනාරත්න මහතා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවාද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ රාජිත සේනාරත්න මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

අත් අඩංගුවට ගැනීම සඳහා ඉකුත් 24 වන දා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා සැඟවී සිට ඊයේ රාත්‍රී 7.30 ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති බවයි ඒ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ.

එමෙන්ම, ඔහු අධික රුධිර පීඩනයෙන් හා ආතතියෙන් පෙළෙන බැවින් ඔවුහු ආසන්නයට යාම නුසුදුසු බවට එම රෝහලේ වෛද්‍යවරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති පරීක්ෂණ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවයි.

LEAVE A REPLY