ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැදුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂමේ නිර්දේශ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් ලබන 21 වනදා තීරණය කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

මෙම වෝහාරික විගණන වාර්තා මේ වන විට පාර්ලිමේන්තුවට ලැබී ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් මත එම වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත නිකුත් කිරීම අත්හිටුවීමට කතානායකවරයා පසුගියදා පියවර ගෙන තිබුණා.

මේ සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේ දී පැවති පක්ෂ නායකයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමේ දී කරුණු මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු එම විගණන වාර්තා කඩිනමින් තමන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

එම විගණන වාර්තා තුළ වසර 2015 ට පෙර කාලයේ දී බැදුම්කර නිකුත් පිළිබඳ තොරතුරුද ඇතුලත්ව පවතින බැවින් එම තොරතුරු මන්ත්‍රිංවරුන්ගේ දැනගැනීම සඳහා අවශ්‍ය බව මෙහිදී ඔවුන් පෙන්වා දුන්නා.

කතානායක, කරූ ජයසූරිය මහතා මේ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට පෙර අද දින නීතිපති දප්පුල ද ලිවේරා මහතාව පාර්ලිමේන්තුවේදී මුණගැසී සාකච්ඡා කිරීමට ද පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කරන ලබන 21 වනදායින් පසු කතානායකවරයා තම තීරණය ප්‍රකාශයට පත්කරනු ඇති.

LEAVE A REPLY