හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

මෙම වරෙන්තුව ලබාගැනීම සඳහා රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්
දිලීප පිරිස් මහතා විසින් එම සිද්ධියට අදාළ විමර්ශනය සිදුකළ ප්‍රධාන විමර්ශන නිලධාරියා වන පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ සාක්ෂිය අධිකරණය හමුවේ මෙහෙයවනු ලැබුවා.

එම සාක්ෂි සලකා බැලූ අධිකරණය වරෙන්තුවක් නිකුත් කිරීමට තරම් සෑහීමකට පත්විය හැකි කරුණු ඉදිරිපත් වී ඇති බවට කරන ලද තීන්දු කිරීමෙන් අනතුරුව රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

ඉකුත්දා පොලීසිය විසින් සිදුකරන ලද වැටලීමකදී රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී සිය භාරයට ගන්නා ලද ආන්දෝලාත්මක දුරකථන සංවාද අඩංගු සංයුක්ත තැටි සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ශනයේදී අනාවරණ වූ කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනුණේ.

ඒ අනුව විනිසුරුවරුන්ගේ කටයුතුවලට මැදිහත් වීම් හා බලපෑම් සිදුකිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තියේ ප්‍රතිපාදන යටතේ වරදක් සිදුකර ඇතැයි රංජන් රාමනායක මහතා වෙත චෝදනා එල්ල වී තිබෙනවා.

නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුවයි ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වන වරෙන්තුව නිකුත් කර ඇත්තේ.

LEAVE A REPLY