ත්‍රිරෝද රථ රියදුරෙකු බව පවසමින් මාතර මහ රෝහලට ඇතුළත් වූ පුද්ගලයෙකු දරුවෙකු බිහි කිරීම පිළිබඳ අපූරු පුවතක් අද අසන්න ලැබුණා.

26 හැවිරිදි තරුණයෙකු ලෙස පෙනී සිටි ඔහු රෝහල්ගත වී ඇත්තේ උදරයේ වේදනාවක් ඇති බව පවසමින්.

රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන් ද ඔහු 11 වන වාට්ටුව වෙත ඇතුලත් කර තිබුණා.

එහෙත්, උදරයේ වේදනාව උත්සන්න වී කෑගැසීමත් සමග ඔහුගේ තත්ත්වය නැවත පරීක්ෂා කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ කාන්තාවක මෙලෙස පිරිමි පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් රෝහල්ගත වී ඇති බවයි.

එමෙන්ම, ගැබිණියක් වූ ඇය කඩිනමින් ප්‍රසූති කාමරය වෙත යොමු කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණා.

සුලු වේලාවකට පසුව එනම්, අද පෙරවරු 11 පසු වී නිරෝගී පිරිමි දරුවෙකු බිහි කළ බව මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මල්කාන්ති මැදිවක මහත්මිය සඳහන් කළා.

ඇය පිරිමි පුද්ගලයෙකු ලෙස පෙනී සිටියේ කුමන අරමුණකින්ද සහ ඊට අදාළ තොරතුරු කිසිවක් පැවසීම සුදුසු නැතැයි ද ඇය කියා සිටියා.

LEAVE A REPLY