ආනයනික කිරිපිටි පරිභෝජනයට නුසුදුසු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන ප්‍රචාර පදනම් විරහිත බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

පෝෂ්‍යදායී නිෂ්පාදනයක් සම්බන්ධයෙන් ජනතාව අතර අනවශ්‍ය භීතියක් ඇති කර වීමේ අරමුණින් ඔවුන් අදාළ ප්‍රචාර ගෙන යන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

කිරිපිටි පරිභෝජනයෙන් පිළිකා හෝ වෙනත් රෝග ඇති නොවන බවත්, ලොව කිසිදු සෞඛ්‍ය ආයතනයක් කිරිපිටි සහ පිළිකා අතර සම්බන්ධයක් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවත් ඔවුන් අවධාරණය කරනවා.

එමෙන්ම, පාරිභෝගික සේවා අධිකාරිය මගින් 2019 ජූලි 18 දාතමින් යුතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අන්තර්වාර වාර්තාවට අනුවද සම්පූර්ණ යොදය සහිත ආනයනික කිරිපිටිවලට බාහිර ද්‍රව්‍ය කිසිවක් මිශ්‍ර වී නොමැති බවට සඳහන් කර තිබෙනවා.

මීට අමතරව සම්පූර්ණ යොදය සහිත ආනයනික කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවට ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ රජයේ බලධාරී ආයතන ස්වාධීනව තහවුරු කර ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

මේ අතර, නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි පරිභෝජනය කිරීම සෞඛ්‍යයට හානි කර බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන චෝදනා සම්බන්ධයෙන් ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් සහ මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් යන සමාගම් සිය කණස්සල්ල පළ කරනවා.

මෙරට මහජනතාව අතර අනවශ්‍ය බියක් හා නොසන්සුන්තාවක් ඇති වීම වැළැක්වීම සඳහා වහාම සත්‍යය හා ප්‍රබන්ධ අතර වෙනස වටහාගත යුතු බවයි එම සමාගම් අවධාරණය කරන්නේ.

ආනයනික කිරිපිටි නිරන්තරයෙන් නියමිත නීති හා රෙගුලාසිවලට අනුකූල බව තහවුරු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් විසින් අඛණ්ඩ පරීක්ෂණ සහ අධීක්ෂණ සිදුකරනු ලබනවා.

ආනයනික කිරිපිටි රට තුළට ගෙනඒමට අනුමැතිය ලැබීමට පෙර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ඊට අදාළ පරීක්ෂණ ක්‍රියාවලීන් සිදුකරන බවද ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් සහ මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් යන සමාගම් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, මේ ආකාරයට නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි සම්බන්ධයෙන් පදනම් විරහිත චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Industry Statement_Sinhala_Draft Final_22.01.2020

LEAVE A REPLY