ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල, මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වුණා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන්.

දශක නවයක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකේය විද්‍යුත් සන්නිවේදනයේ ගුවන්විදුලියේ මාධ්‍ය නියුක්තිකයින් රාජ්‍ය මට්ටමින් අගයනු වස් මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුණා.

සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ගුවන්විදුලි උපදේශක සභාව මඟිනුයි එය සංවිධාන කළේ.

මෙම සම්මාන උළෙලේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සියලුම ගුවන් විදුලි නාලිකාවල රාජ්‍ය හා පෞද්ගලිකව විශිෂ්ට මෙහෙවරක් සිදුකළ සියලු දෙනා ඇගයීමට ලක් කෙරුණා.

එහිදී 1957 වසරේ සිට 1993 දක්වා වසර 36 ක කාලයක් මෙරට ගුවන්විදුලියේ සේවයේ වෙළෙඳ අංශය වෙනුවෙන් කැපවූ මාධ්‍යවේදියෙකු වන ආරියසේන මිල්ලවිතානාච්චි මහතා ප්‍රතිභා ප්‍රණාම සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම, හෙළයේ ගුවන්විදුලි වංශකතාවේ අමරණීය නාමයක් සනිටුහන් කළ ප්‍රාමාණික මාධ්‍යවේදියෙකු වන පාලිත පෙරේරා මහතාද ප්‍රතිභා ප්‍රණාම සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයක්.

මීට අමතරව තවත් ප්‍රතිභා ප්‍රණාම සම්මානයක් පිරිනැමුණේ, වසර 50 කට වඩා වැඩි කාලයක් ගුවන්විදුලි ක්ෂේත්‍රයේ තම දක්ෂතාව දක්වන නිවේදන ශිල්පියෙකු, විස්තර විචාරකයෙකු, ප්‍රවෘත්ති ප්‍රකාශකයෙකු, වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ බී.එච්. අබ්දුල් හමීඞ් මහතායි.

එහිදී හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශිකාව නිර්දේශිත නාම අතරට වී එෆ් එම් ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශිකා නදීකා මධුවන්ති ගුණරත්න නිර්දේශ වී තිබුණා.

LEAVE A REPLY