මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර නොමැති තත්ත්වයක් යටතේ වුවද ඊට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් මේ වනවිට සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

කුඩා ජන හමු, ආගමික වැඩසටහන්, සමාජ මාධ්‍ය හා පෝස්ටර් කටවුට් හරහා ඔවුන් මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බවයි අප වෙත නිරීක්ෂණය වුණේ.

මීට අමතරව මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන අපේක්ෂකයන්ගේ ඡායාරූප වාහනවලද ප්‍රදර්ශනය කරන තිබෙනවා.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති තත්ත්වයකදී වුවද, මොවුන් භාවිත කරන ඇතැම් ප්‍රචාරණ ක්‍රමවේදයන් නීත්‍යනුකූල නොවන බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ.

මීට අමතරව පෝස්ටර් කටවුට් වැනි ප්‍රචාරණ ක්‍රමවේදයන් හරහා වන පරිසර හානියද සුළුපටු නැහැ.

එලෙස පෝස්ටර් හරහා වන පරිසර හානිය නොතකා හරීන් ප්‍රනාන්දු මහතාගේ රුව ඇතුළත් පෝස්ටර් රැසක්, බදුල්ල, බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශවල මේ දිනවල ප්‍රදර්ශනය කර තිබෙනවා.

‘හදවතේ හරීන්’ යනුවෙන් සඳහන් වැකිය සහිතව ඔහුගේ රුව මෙලෙස ප්‍රදර්ශනය කර ඇති බවයි අප හට නිරීක්ෂණය වුණේ.

පෝස්ටර්, කටවුට් නොමැතිව මැතිවරණ ව්‍යාපාරයක් පිළිබඳ බලාපොරොත්තු තබා තිබෙන ජනතාවට මෙවන් සිදුවීම් හරහා එම අපේක්ෂකයින් ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් උදාවනවා.

කෙසේ වෙතත්, වී එෆ් එම් ප්‍රවෘත්ති මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් විමසීමක් කළා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ, මැතිවරණ අපේක්ෂකයන් පරිසර හිතකාමී ලෙස සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට සිහි තබා ගත යුතු බවයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට සුදුස්සෙකු බව ඔබේ මැතිවරණ ව්‍යාපාරය තුළින්ම ඔප්පු කරන ලෙසද ඒ මහතා දේශපාලන පක්ෂ වෙත අවධාරණය කළා.

 

LEAVE A REPLY