තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නොමැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එමෙන්ම අනාගතයේදී අයදුම් කිරීමට බලාපොරොත්තුවක්ද නොමැති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

ඔහුටත් පවුලේ ඥාතීන්ටත් ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය පිළිබඳ අදහස් පළ කරමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පැවති අවසන් යුද්ධයේදී මානව හිමිකම් කඩකළැයි යන චෝදනාව මත වත්මන් යුද හමුදාපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකානු එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සහ අදාල අංශයන්හි නියමානුකූල වගන්ති අනුව ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඇමෙරිකානු එක්සත් ජනපදයට ඇතුළුවීම වාරණය කර ඇතැයි සඳහන්.

2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පැවති යුද්ධයේදී ශවේන්ද්‍ර සිල්වා මහතා 58 වන බල සේනාංකයේ අණදෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කළා.

LEAVE A REPLY