රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන සියලු නිවාස ව්‍යාපෘති සඳහා දේශීය උළු පමණක් යොදාගැනීමට නියමිත බව නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ගෙන තිබෙන මෙම තීරණය අනූව ඉදිකිරීමට නියමිත නිවාස 14,022 ක් සඳහා දේශීය උළු සෙවිළි කෙරෙන බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක දුෂ්‍යන්ත මහතා කියා සිටියේ.

බිඳ වැටී තිබෙන දේශීය උළු කර්මාන්තය නගා සිටුවීම සහ ජනතාවට හොඳ වාතාශ්‍රයක් ලබාදීම මේ හරහා අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළා.

එමෙන්ම මෙම තීරණය හරහා බිඳවැටී තිබෙන උළු කර්මාන්තය යළි ශක්තිමත් වන අතර අලුතින් රැකියා අවස්ථා ද උත්පාදනය වනවා.

නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය කරන උළු සපයා ගැනීම සඳහා උළු නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

එහිදී විවිධ ප්‍රදේශවල ඉදිකෙරෙන නිවාස සඳහා හිඟයකින් තොරව උළු ලබාදීමට උළු නිෂ්පාදකයින් එකඟ වූ බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක දුෂ්‍යන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY