කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

එමෙන්ම පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට උදේ 6.00 ට ලිහිල් කොට එදිනම දහවල් 2.00ට යළි පනවනු ලබන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්ක සදහා එලෙස යළි පැනවූ ඇඳිරි නීතිය මාර්තු 30 වන සඳුදා 6.00ට ඉවත්කොට එදිනම දහවල් 2.00ට නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා තිබෙනවා.

එමෙන්ම රට පුරා ඇඳිරි නීතිය පිළිබඳව මේ නිවේදනයේ සඳහන් වේලාවන් නැවත දැනුම් දෙන තුරු වලංගුව පවතින බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

LEAVE A REPLY