නිරෝධායනයට අනුගත වීමට අවශ්‍ය පුද්ගලයින් ඒ සදහා යොමු නොවුණහොත් ඉදිරි සති දෙකක කාලය වඩාත් තීරණාත්මක කාල වකවානුවක් වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවනවා.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අකුරටම පිලිපැදීමට ශ්‍රී ලාංකික ජනතාව පියවර නොගතහොත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තියේ විශාල වැඩි වීමක් බලාපොරොත්තු වියහැකි බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ.

අද සිට අප්‍රේල් මස 7 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව ද එම සංගමය පෙන්වා දෙනවා.

පුරවැසියන්ගේ වගකීම් විරහිත හැසිරීම් මත සෞඛ්‍ය සේවකයින් නිරෝධායනයට ලක් කිරීමට සිදු වුවහොත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද ප්‍රමාණවත් නොවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන තවත් කාරණයක්.

ඒ අනුව පවතින තත්ත්වය තුළ ජන ජීවිතය පවත්වාගෙන යාමේදී නිවැරදි සෞඛ්‍ය උපදෙස් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY