ජනාධිපති වරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහමැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම්වල නොමග යවන සුලු කරුණු අන්තර්ගතව තිබෙන හෙයින් එම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලූ අතර, එය ලබන 26 දා නැවැත කැඳවීමටද තීරණය කළා.

වගඋත්තරකාර ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වර්තමානයේ කොරෝනා තත්වය යම් පාලනයකටනතු කර ඇති බැවින් සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා වූ ක්‍රියා පටිපාටිය ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ලිපියක් මගින් තම සේවාදායකයාට දැනුම් දී ඇතැයි පැවසූවා. එසේ තිබියදී මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සති ගණනාවක් ඉල්ලා සිටීම ගැටලු සහගත බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස ඉතාම වැදගත් පාර්ශව ගණනාවක් නම් කර නොතිබීම බරපතල නීතිමය දෝෂයක් බවයි අනතුරුව අදහස් දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නේ. ඉදිරි මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 304 ක සහ ස්වාධීන කණ්ඩායම් 313 ට සම්බන්ධව අපේක්ෂකයින් 7452 දෙනෙකු නාම යෝජනා පත්‍ර භාර දී තිබෙන බව ඇය පැවැසුවා.

මෙම පෙත්සම් වලින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන අධිකරණය විසින් ප්‍රදානය කරනු ලැබූවොත් ඒ තුළින් එම අපේක්ෂකයින්ට බරපතළ අගතියක් සිදුවන බවයි ඇගේ තර්කය වුණේ. මේ හේතුවෙන් අදාළ පෙත්සම් වල එම අපේක්ෂකයින් වගඋත්තරකරුවන් ලෙස නම්කර නොතිබීම බරපතළ නීතිමය දෝෂයක් බව අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන අඟහරුවාදා පෙරවරු 10.00 දක්වා කල් තැබීමටයි පංචපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ.

LEAVE A REPLY